ඇමරිකානු හමුදාව දෙවන රාත්‍රියටත් දකුණු ඉරානයේ ස්ථාන රැසකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානය සමඟ පැවති සටන් විරාමය දැන් ප්‍රායෝගිකව අවසන් වී ඇති බවයි.
ඇමරිකානු මධ්‍යම අණදෙනු මධ්‍යස්ථානය (CENTCOM) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනයට තර්ජනයක් එල්ල කිරීමේ ඉරානයේ හැකියාව දුර්වල කිරීම සඳහා මෙම අතිරේක ප්‍රහාර ක්‍රියාත්මක කළ බවයි.
එම නිවේදනයට අනුව, වාණිජ නෞකා සහ සිවිල් නාවික කණ්ඩායම් ඉලක්ක කර සිදු වූ මෑත ප්‍රහාර සඳහා ඉරානය වගකිව යුතු බව ඇමරිකාව පවසයි.
ඉරාන මාධ්‍ය වාර්තා කළේ බුෂෙහර් (Bushehr), චාබහාර් (Chabahar), කොනාරක් (Konarak) සහ ලාවාන් දූපත (Lavan Island) ආශ්රිත ප්‍රදේශවල ප්‍රබල පිපිරීම් කිහිපයක් සිදුවූ බවයි. බුෂෙහර් න්‍යෂ්ටික විදුලි බලාගාරය අසලද පිපිරීම් දෙකක් වාර්තා වී ඇති බව සඳහන් වේ.
චාබහාර් වරාය ආශ්‍රිතව පිහිටි නාවික පාලන කුළුණකට ප්‍රහාරයක් එල්ල වූ බවත්, එම ප්‍රහාරයෙන් ඉමාම් අලි රෝහලට හානි සිදුවී විදුලි සැපයුමද බිඳ වැටුණු බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. පසුව විදුලි සැපයුම අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත් කර තිබේ.
ප්‍රහාර ආරම්භ වීමෙන් ටික වේලාවකට පසු ජනාධිපති ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ පණිවිඩයක් තබමින් කියා සිටියේ,
“මෙය ඊයේ ඉරානය විසින් නෞකා වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්රතිචාරයකි. මෙවැනි දෙයක් නැවත සිදුවුවහොත්, ප්‍රතිචාරය මීට වඩා දරුණු වනු ඇත.”
මීට පෙර ඔහු, “සටන් විරාමය අවසන්. මට ඔවුන් සමඟ තවදුරටත් ගනුදෙනු කිරීමට අවශ්‍ය නැහැ,” යනුවෙන්ද මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.
ඉරානයේ උත්තරීතර නායක මොජ්ටබා කමේනෙයිගේ හමුදා උපදේශක මොහ්සෙන් රෙසායි ප්‍රකාශ කළේ, ඇමරිකානු ප්‍රහාර සඳහා “දැඩි දඬුවමක්” ලබාදෙන බවයි.
ඉන් අනතුරුව ඉරාන හමුදාව කුවේට් සහ බහරේන්හි පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රතිප්‍රහාර එල්ල කළ බව නිවේදනය කළේය.
මෙම නව ගැටුම් හේතුවෙන් මැදපෙරදිග යුද උණුසුම තවදුරටත් ඉහළ යමින් පවතින අතර, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්ද නැවතත් ඉහළ යාම ආරම්භ වී ඇත.




