2026 ජූනි 19
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් බරපතළ ලෙස හානිවූ උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල හා නානුඔය අතර කොටස සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර හෙට (20) සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කුණාටුවෙන් අඹේවෙල – නානුඔය අතර දුම්රිය මාර්ගයේ සැතපුම් 134 දම්වැල් 78 ප්‍රදේශයේදී මාර්ග කොටසක් අඩි 65ක පමණ ගැඹුරකට කඩා වැටී තිබූ අතර, එය අඩි 100ක පමණ පළලකින් සහ අඩි 120ක පමණ දිගකින් විනාශ වී තිබිණි.
කඳුබෑවුම් සහිත භූගෝලීය තත්ත්වය, විකල්ප ප්‍රවාහන මාර්ග නොමැති වීම සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ප්‍රතිසංස්කරණ කටයුතු දැඩි අභියෝගයකට ලක්ව තිබුණි. එමෙන්ම අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ ඉදිකිරීම් ද්‍රව්‍ය දුම්රිය මාර්ගය ඔස්සේම ප්‍රවාහනය කිරීමට සිදුවීමද කාර්යය සංකීර්ණ කර තිබිණි.
කෙසේ වෙතත්, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) තාක්ෂණික උපදෙස් හා සහාය මත දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව විසින් සිදුකළ කඩිනම් ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් මාර්ගය නැවතත් දුම්රිය ධාවනය සඳහා සුදුසු තත්ත්වයට පත්කර ඇත.
ඒ අනුව මෙතෙක් බදුල්ල සිට අඹේවෙල දක්වා පමණක් ධාවනය වූ දුම්රිය සේවා, දේශීය හා විදේශීය සංචාරකයන් අතර ජනප්‍රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා හෙට සිට දීර්ඝ කිරීමට නියමිතය.
මෙම සේවාවන් සඳහා විශේෂ දුම්රිය කාලසටහනක් ද නිකුත් කර ඇති අතර, සියලුම දුම්රියවල පළමු පන්තියේ වායු සමනය කළ මැදිරි සහ දෙවැනි පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් සහිත මැදිරි ඇතුළත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මගීන්ට මාර්ගගතව හෝ ආසන වෙන්කිරීමේ පහසුකම් සහිත ඕනෑම දුම්රිය ස්ථානයක් මගින් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ හැකියාව පවතී.
එසේම, ගමනේ ආරම්භක හෝ අවසාන ස්ථානය ලෙස අඹේවෙල දුම්රිය ස්ථානය සඳහන් කරමින් පෙර වෙන්කරගෙන ඇති ප්‍රවේශ පත්‍ර භාවිත කරන මගීන්ට නානුඔය දුම්රිය ස්ථානයෙන් ගමන ආරම්භ කිරීමට හෝ එහිදී ගමන අවසන් කිරීමට අවසර ලබාදී ඇත.
දුම්රිය ධාවන කාලසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් සහ ආසන වෙන්කිරීමේ පද්ධතිය ඔස්සේ ලබාගත හැකිය.



