පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා සිටින විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා, සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් දැඩි ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
CID භාරයේ සිටින කාලය තුළ තමන්ට වධහිංසා සහ අමානුෂික සැලකීම් සිදුකරන බවට චෝදනා කරමින් සලේ මහතා පසුගිය සිකුරාදා සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇත. වාර්තා වන අන්දමට, ඔහු ආහාර පමණක් නොව දියර වර්ග පවා ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එම තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යය බරපතළ ලෙස පිරිහී තිබේ.
රෝහල්ගත කිරීමෙන් පසුවද සිය උපවාසය නතර කිරීමට ඔහු එකඟ වී නොමැති බව වාර්තා වේ. ඊයේ (08) දින ඔහුගේ නීතිඥවරයා සහ පවුලේ සාමාජිකයින් ඔහු හමුවූ අවස්ථාවේදී ද, තමන් උපවාසය අඛණ්ඩව පවත්වාගෙන යන බව ඔහු ප්‍රකාශ කර තිබේ.
- තමන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන භාරව සිටින CID අධ්යක්ෂවරයා ඉවත් කිරීම සහ
- තමන් රඳවා තබා ඇති ස්ථානය වෙනස් කිරීම යන ඉල්ලීම් දෙක ඉටු කරන තෙක් උපවාසය අත්නොහරින බව සලේ මහතා දැනුම් දී ඇත.
මේ අතර, හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියාට එරෙහිව සිදුවන බව කියන අමානුෂික සැලකීම්වලට විරෝධය පළ කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්යග්රහ ව්‍යාපාරය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.

