මහජන උපයෝගීතා කොමිසම මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේ, විදුලි ගාස්තු සමස්තයක් ලෙස සියයට 10කින් ඉහළ දැමූ බවයි. කෙසේ වෙතත්, මෙම ගාස්තු සංශෝධනය පරිභෝජන ඒකක ප්රමාණය අනුව වෙනස් වන අතර, විදුලි ඉල්ලුමේ අඩුවැඩිවීම් සමඟ ගාස්තු වෙනස් වන ආකාරයට එය සකසා ඇති බව කොමිසම පැවසීය.
ඒ අනුව, මාසිකව විදුලි ඒකක 30කට අඩු පරිභෝජනයක් ඇති ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා ගාස්තුව සියයට 4.3කින් ඉහළ දමා ඇත. ඒකක 31 සිට 60 දක්වා සහ ඒකක 61 සිට 90 දක්වා පරිභෝජනය කරන කාණ්ඩ දෙක සඳහා ගාස්තුව සියයට 6.9 බැගින් ද, ඒකක 91 සිට 180 දක්වා කාණ්ඩය සඳහා සියයට 7.2කින් ද වැඩි කර ඇත. ඒකක 180 ඉක්මවන ගෘහස්ථ පාරිභෝගිකයින්ගේ ගාස්තුව සියයට 25කින් ඉහළ දැමූ බව කොමිසම නිවේදනය කළේය.
ආගමික ස්ථාන සහ විහාරස්ථාන සඳහා, මාසික පරිභෝජනය ඒකක 180ක් හෝ ඊට අඩු නම් ගාස්තු වැඩි කර නොමැත. එම ප්රමාණය ඉක්මවන ආගමික ස්ථාන සඳහා ගාස්තු සියයට 9.6කින් ඉහළ දමා ඇත.
පොදු කාර්ය ස්ථාන සඳහා ගාස්තු සියයට 8කින් ද, කර්මාන්ත අංශය සඳහා සියයට 8.7කින් ද, හෝටල් අංශය සඳහා සියයට 9.9කින් ද, රාජ්ය අංශය සඳහා සියයට 14.40කින් ද ගාස්තු ඉහළ දැමූ බව කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.





