ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ බරුයිපූර් (Baruipur) නගරයේ වයස අවුරුදු 11-12 අතර දැරියක දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් රට පුරා දැඩි කම්පනයක් සහ උද්ඝෝෂණ රැල්ලක් ඇති කර තිබේ.
පසුගිය ඉරිදා (ජූලි 6) අතුරුදන් වූ දැරියගේ සිරුර නගරයේ පොකුණකින් සොයාගෙන ඇති අතර, ඇය ලිංගික අපයෝජනයට ලක්ව ඝාතනය කර ඇති බවට ඉන්දීය බලධාරීන් සඳහන් කර ඇත.
සිරුර සොයාගැනීමේ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යාමත් සමඟ මහජන කෝපය උත්සන්න වූ අතර ප්‍රදේශයේ ප්‍රචණ්ඩකාරී සිදුවීම්ද වාර්තා විය.
කෝපයට පත් පිරිසක් මාර්ග අවහිර කරමින් වෙළඳසැල් හා දුම්රිය මාර්ගවලට හානි සිදු කළ අතර, අපරාධකරු යැයි සැක කළ පුද්ගලයෙකුට පහර දී ඝාතනය කළහ. කෙසේ වෙතත්, පසුව බටහිර බෙංගාල බලධාරීන් ප්‍රකාශ කළේ එම පුද්ගලයා නිර්දෝෂී අයෙකු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා බදාදා අලුයම පොලිස් භාරයේ සිටියදී මියගොස් තිබේ.
පොලිස් වාර්තා අනුව, අපරාධ ස්ථානය නැවත පරීක්ෂා කරමින් සිටියදී සැකකරු පොලිස් නිලධාරියෙකුගේ රාජකාරි ගිනිඅවිය උදුරාගෙන වෙඩි තැබූ බවත්, ඉන් අනතුරුව පලා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී ඔහු බරපතළ තුවාල ලබා මියගිය බවත් සඳහන් වේ.
ඉන්දියාවේ කාන්තා ආරක්ෂාව පිළිබඳ නැවතත් අවධානය
මෙම සිද්ධියත් සමඟ ඉන්දියාවේ කාන්තාවන් හා දරුවන්ට එරෙහි ලිංගික අපරාධ පිළිබඳ ගැටලුව නැවතත් ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.
2012 වසරේ දිල්ලි නුවර සිදු වූ “නිර්භයා” සමූහ දූෂණය හා ඝාතනයෙන් පසුව ඉන්දියාව ලිංගික අපරාධ නීති දැඩි කළද, කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පවසන්නේ තවමත් කාන්තාවන් සහ දරුවන් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා නොවන බවයි.
ඉන්දීය රජයේ නවතම සංඛ්‍යාලේඛන අනුව 2024 වසරේ දූෂණ සිද්ධීන් 29,536ක් වාර්තා වී ඇති අතර, සැබෑ සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බව ක්‍රියාකාරීහු පෙන්වා දෙති.
මෙම ඛේදවාචකය දේශපාලන ගැටුමක් ද දල්වා ඇති අතර, තෘණමූල් කොංග්‍රසය සහ භාරතීය ජනතා පක්ෂය (BJP) එකිනෙකාට චෝදනා එල්ල කරමින් කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම් පැහැර හැර ඇති බව පවසති.


