එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාලව හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායකට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15) නියෝග කළේය.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරියා විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරිණ.
සිද්ධියට අදාල දෙවන සැකකාරිය වන ප්‍රියංකා නයෝමාලි හට දින වරෙන්තුවක් නිකුත් කර ඇති බැවින් විවෘත වරෙන්තුවක් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසට කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් එලෙස වරෙන්තු නිකුත් කළේය.
මෙම දෙවැනි සැකකාරිය වෙනුවෙන් අධිකරණයට ඇප තබා තිබූ ඇපකරුවන් වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක එම ඇපකාරිත්වයෙන් ඉවත් කරන ලෙස ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. තවද ජනාධිපති නීතීඥවරයා පවසා සිටියේ මිලියන 10ක එම ඇප මුදල රාජසන්තක කළ හැකි බවය.


