නතුරු අවම කර ගැනීමේ සහ අනතුරුවලින් සිදුවන හානිය අවම කර ගැනීමේ අරමුණින් මාර්ගයේ ධාවනයට නුසුදුසු වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කරනු ලැබ තිබේ.
මීට පෙර ද මෙවැනි වාහන යෝග්‍යතාව පරීක්ෂා කිරීම් සිදුවූ බවත් එම පරීක්ෂාවන් තවදුරටත් පුළුල් කරමින් මෙසේ ධාවනයට නුසුදුසු වාහන හඳුනා ගැනීමේ මෙහෙයුම් දිවයින පුරා ම ක්‍රියාත්මක කරන බවත් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර බීබීසී සිංහල සේවයට පැවසීය.
එම මෙහෙයුම් සඳුදා (ජූනි 29) සිට අධිවේගී මාර්ගවල පරීක්ෂා කිරීම්වලින් ආරම්භ කළ බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.
‘අනතුරු අඩු කිරීම සහ අනතුරකින් අනිත් පාර්ශවයන්ට වන හානිය අඩු කිරීම’
“මෙහෙයුමේ ප්‍රධාන අරමුණ තමයි අනතුරු අඩු කිරීම සහ අනතුරකින් අනිත් පාර්ශවයන්ට වෙන හානිය අඩු කරන එක. මේ අනතුරුවලින් ගොඩක් මැරෙන්නේ පදිකයෝ. අනතුරුවලදී හානි වෙන්න ගොඩක් හේතු වෙලා තියෙන්නේ වාහනවල ෆ්ලෙක්සිබිලිටි එක නැති එක. අනතුරුවල ඩැමේප් එක අඩු කරන්න සහ අනිකුත් රියැදුරන්ට එයාලට වෙන පීඩාව නවත්වන්න,” මෙම මෙහෙයුමේ අරමුණ පැහැදිලි කරමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පැහැදිලි කළේ ය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ අනුමැතිය සහිතව මෙරටට ගෙන්වන වාහනවලට අමතර උපාංග සවි කිරීමට එම දෙපාර්තුමේන්තුවේ අවසරය සහ අනුමැතිය ලබා ගත යුතු ය.
ධාවනයට නුසුදුසු වාහන ධාවනය කිරීම තහනම්!
මෙලෙස පරීක්ෂා කිරීම්වලදී ධාවනයට නුසුදුසු බවට අනාවරණය වුවහොත් එම වාහන ධාවනයට තහනම් නියෝග නිකුත් කරන අතර අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.


