2026 ජූනි 19
ඊශ්‍රායලය මුහුණ දෙන සෑම ජාතික ආරක්ෂක අර්බුදයක්ම හමුදා ක්‍රියාමාර්ග මගින් පමණක් විසඳීමට නොහැකි බව ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ප්‍රකාශ කර තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉරානය සමඟ ඇති කරගත් නව අවබෝධතා ගිවිසුමට විරෝධය දක්වන ඊශ්‍රායල දේශපාලනඥයන්ට ප්‍රතිචාර දක්වමින් වැන්ස් මෙම අදහස් පළ කර ඇත.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, මිලියන 9ක ජනගහනයක් සහිත රටක් ලෙස ඊශ්‍රායලය සියලු ආරක්ෂක ගැටලු ප්‍රහාර හා ඝාතන මගින් පමණක් විසඳීමට උත්සාහ නොකළ යුතු බවයි.
“ඔබගේ නිශ්චිත යෝජනාව කුමක්ද? සෑම ජාතික ආරක්ෂක ගැටලුවක්ම මරා දැමීමෙන් විසඳිය නොහැක,” යැයි වැන්ස් ප්‍රකාශ කළේය.
ඔහු තවදුරටත් අවධාරණය කළේ රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයට අවස්ථාවක් ලබා දිය යුතු බවත්, වොෂින්ටනයේ මැදිහත්වීම පිළිබඳ යම් විශ්වාසයක් තැබිය යුතු බවත්ය. එමෙන්ම ට්‍රම්ප් ජනාධිපතිවරයා පිළිබඳව ප්‍රසිද්ධියේ විවේචන එල්ල කිරීමෙන් වැළකිය යුතු බවද ඊශ්‍රායල නායකයන්ට ඔහු අනතුරු අඟවා තිබේ.
කෙසේ වෙතත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ දකුණු ලෙබනනයේ ස්ථානගත කර ඇති ඊශ්‍රායල හමුදා අවශ්‍ය තාක් කල් එම ප්‍රදේශයේ රැඳී සිටින බවයි.
“උතුරු ප්‍රදේශයේ ආරක්ෂාව යළි ස්ථාපිත කරනවා. ඒ සඳහා දකුණු ලෙබනනයේ ආරක්ෂක කලාපයක් පවත්වාගෙන යාම අවශ්‍යයි,” යැයි නෙතන්යාහු ප්‍රකාශ කර ඇත.
මේ අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) විසින් නිකුත් කළ නව සිතියමක ලෙබනන දේශසීමාව තුළ කිලෝමීටර් 10ක පමණ ප්‍රදේශයක් හමුදා පාලනය යටතේ පවතින බව දැක්වෙයි.
මෙම තත්ත්වය ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් කළ නව අවබෝධතා ගිවිසුමේ අරමුණු සමඟ ගැටෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ගිවිසුම මගින් ලෙබනනය ඇතුළු සියලු පෙරමුණු තුළ හමුදා ක්‍රියාකාරකම් නතර කිරීම සහ රාජ්‍ය ස්වාධීනත්වයට ගරු කිරීම අවධාරණය කර ඇත.
ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බඝායි පවසා ඇත්තේ, ලෙබනනය තුළ ඊශ්‍රායල ප්‍රහාර හෝ හමුදා ආක්‍රමණය අඛණ්ඩව පැවතුණහොත් එය ඇමරිකාව විසින් ගිවිසුම යටතේ ලබාදුන් පොරොන්දු උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බවයි.
මේ අතර ජනාධිපති ට්‍රම්ප් ද පසුගිය දිනවල ඊශ්‍රායලයේ හමුදා ක්‍රියාමාර්ග පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කර තිබේ. ලෙබනනයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේදී සිවිල් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ඔහු අවධාරණය කර ඇත.



