Home / popular / වසර අගදී ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට සූදානම්

වසර අගදී ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට සූදානම්

රී ලංකාවේ රාජ්‍ය සේවා ඩිජිටල්කරණයේ වැදගත් පියවරක් ලෙස පුද්ගල අනන්‍යතාව සියයට සියයක් නිවැරදිව තහවුරු කළ හැකි ඩිජිටල් හැඳුනුම්පත මෙම වසරේ අගභාගය වන විට ජනතාවට නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ශ්‍රවණාගාරයේ පැවැති ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ 2026 වසර සඳහා සැලසුම් කර ඇති ඉදිරි සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙරටට ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය හඳුන්වා දීමට 2012 වසරේ සිට විවිධ උත්සාහයන් ගෙන තිබුණද එය සාර්ථක වී නොතිබුණි. කෙසේ වෙතත්, වත්මන් පාලන සමයේ පළමු වසර තුළ ලැබූ ප්‍රගතිය හේතුවෙන් මේ වන විට ප්‍රසම්පාදන කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

එළඹෙන අප්‍රේල් මාසය වන විට ප්‍රසම්පාදන කටයුතු නිම කර වසරේ තෙවැනි හෝ සිව්වන කාර්තුවේදී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීම රජයේ අරමුණ බවද ඔහු සඳහන් කළේය. දැනට භාවිත වන සාම්ප්‍රදායික හැඳුනුම්පත් වෙනුවට පුද්ගලයන්ගේ ජීවමිතික දත්ත භාවිත කිරීම මෙම පද්ධතියේ විශේෂත්වය වේ.

මෙම නව පද්ධතිය හරහා පුරවැසියන්ට තම අනන්‍යතාව ඕනෑම ස්ථානයකදී නිවැරදිව තහවුරු කිරීමට හැකි වන අතර, රජයේ ආයතන සහ ජනතාව අතර සබඳතාවයේ සැලකිය යුතු පරිවර්තනයක් සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එසේම, රජයේ කාර්යාල වෙත භෞතිකව පැමිණීමේ අවශ්‍යතාව අවම වන අතර වෙනත් අයකු ලෙස පෙනී සිටිමින් සිදු කරන මූල්‍ය වංචා සහ විවිධ අක්‍රමිකතා වැළැක්වීමට ද මෙම පද්ධතිය මගින් හැකි වන බව රජය අවධාරණය කරයි.

මෙම ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීම ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කිරීමේ තීරණාත්මක පියවරක් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජයසූරිය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතාද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *