ඉරානය සමඟ උද්ගත වී ඇති යුධමය තත්ත්වය අතරතුර ඇමරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් ඉරාකයේ බටහිර ප්‍රදේශයේදී කඩා වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකානු ගුවන් හමුදාවට අයත් KC-135 Stratotanker වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර එහි අවම වශයෙන් කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනෙකු සිටි බව සඳහන් වේ.
මෙම ගුවන් යානය ඇමරිකානු හමුදාව විසින් ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කරන Operation Epic Fury නමැති මෙහෙයුම අතරතුර පියාසර කරමින් තිබූ බවත් අනතුර සිදුව ඇත්තේ “මිත්‍ර පාලනය යටතේ පවතින ගුවන් කලාපයක්” තුළ බවත් U.S. Central Command නිවේදනය කර තිබේ.
සිද්ධියට ගුවන් යානා දෙකක් සම්බන්ධ වූ බව ද සෙන්ට්කොම් ප්‍රකාශ කර ඇති අතර, ඒ අතරින් එක් යානයක් ආරක්ෂිතව ගොඩබස්වා ඇති බව සඳහන් වේ. අනෙක් යානය ඉරාකයේ බටහිර ප්‍රදේශයකදී කඩා වැටී ඇති අතර එහි සිටි කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා රැස්කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් වාර්තා වෙයි.
මේ අතර ඉරානයට සහය දක්වන සන්නද්ධ කණ්ඩායම් සංගමයක් වන Islamic Resistance in Iraq මෙම ගුවන් යානය වෙඩි ප්‍රහාරයකින් බිඳ දමා ඇති බව කියමින් වගකීම භාරගෙන ඇත. එහෙත් ඇමරිකානු නිලධාරීන් පවසන්නේ මෙතෙක් ලබාගත් තොරතුරු අනුව එය සතුරු ප්රහාරයක ප්‍රතිඵලයක් බවට තහවුරු වී නොමැති බවයි.
1950 දශකයේදී නිර්මාණය කරන ලද KC-135 ටැංකර් යානය ඇමරිකානු ගුවන් හමුදාවේ වැදගත්ම ඉන්ධන සැපයුම් යානා අතරින් එකක් ලෙස සැලකේ. මෙම යානය මගින් දිගු දුර මෙහෙයුම් සිදු කරන යුධ ගුවන් යානා සහ අනෙකුත් හමුදා ගුවන් යානා සඳහා ගුවන්මගින්ම ඉන්ධන ලබාදීමට හැකි වේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ඉරානය සමඟ ගැටුම් ආරම්භ වූ පසු ඇමරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් අනතුරට ලක්වූ හතරවන අවස්ථාව මෙය වේ. එමෙන්ම මෙම ගැටුම ආරම්භ වූ දා සිට ඇමරිකානු සෙබළුන් හත් දෙනෙකු මරණයට පත්ව ඇති අතර, තවත් 140කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද පෙන්ටගනය පසුගිය දිනවල සඳහන් කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරමින් සිටින අතර, අනතුරට ලක්වූ කාර්ය මණ්ඩලය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව ඇමරිකානු හමුදා ප්‍රකාශ කර ඇත.





