Home / Local News / මෙරට දේශීය ඥාන සම්භාරය සුරැකීමට දැවැන්ත පියවරක්.. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ SOAS පුස්තකාලයේ ඇති ලාංකීය පුස්කොල පොත් ඩිජිටල්කරණය ඇරඹෙයි..

මෙරට දේශීය ඥාන සම්භාරය සුරැකීමට දැවැන්ත පියවරක්.. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ SOAS පුස්තකාලයේ ඇති ලාංකීය පුස්කොල පොත් ඩිජිටල්කරණය ඇරඹෙයි..

Jul 10, 2026 at 08:18 AM

|

Lanka Leader

ශ්‍රී ලංකාව සතු අග්‍රගණ්‍ය දේශීය ඥාන පද්ධතිය සහ ඓතිහාසික උරුමයන් අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීම සහ ලෝකවාසී පර්යේෂකයන් වෙනුවෙන් විවෘත කිරීම අරමුණු කරගත් සුවිශේෂී ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඒ අනුව, දැනට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ SOAS (School of Oriental and African Studies) පුස්තකාලය සතුව පවතින සිය ගණනක් වූ ශ්‍රී ලාංකේය පැරණි පුස්කොල පොත් ඩිජිටල්කරණය (Digitization) කර, “Open Access” ක්‍රමවේදය යටතේ ඕනෑම අයෙකුට නොමිලේ අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීමට අවස්ථාව සැලසේ.

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ පරමත්ථ සංවිධානය සහ බ්‍රිතාන්‍යයේ International Centre for Theravada Buddhism (ICTBUK) ආයතනය ඒකාබද්ධව පසුගිය ජූලි මස 1 වනදා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ SOAS පුස්තකාලය සමඟ මේ සඳහා වන නිල ගිවිසුමකට අත්සන් තබන ලදී.

මෙම ඓතිහාසික ගිවිසුමට පරමත්ථ සංවිධානය වෙනුවෙන් ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්ථවිරයන් වහන්සේ සහ SOAS පුස්තකාලය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ සෑම් හෙනී (Sam Heney) මහත්මිය අත්සන් තැබූහ.

ක්‍රිස්තු පූර්ව 9 වන සියවස දක්වා ඈත අතීතයකට දිවෙන අක්ෂර භාවිතයක් සහ ප්‍රෞඪ සාහිත්‍ය ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ආදිතමයන් විසින් ත්‍රිපිටකය, වෛද්‍ය විද්‍යාව, ව්‍යාකරණ, ගණිතය සහ ගුප්ත විද්‍යා ආදී විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ මහා දැනුම් සම්භාරයක් පුස්කොල පොත් ආශ්‍රයෙන් ලේඛනගත කර තිබේ. යටත් විජිත සමයේදී මෙරටින් විදේශයන්ට රැගෙන ගිය මෙම වටිනා පුස්කොල පොත් වර්තමානයේදී විදේශීය පුස්තකාල තුළ විනාශ වෙමින් පවතින අතර, ලාංකීය ශාස්ත්‍රවන්තයන්ට ඒවා පරිශීලනය කිරීමද ප්‍රායෝගිකව අපහසු වී තිබුණි.

මෙම ගැටලුවට පිළියමක් ලෙස පරමත්ථ සංවිධානය සහ ICTBUK ආයතනය වසර ගණනාවක සිට බ්‍රිතාන්‍ය පුස්තකාලය (British Library) සමඟ ද මෙවැනිම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති අතර, එහි සාර්ථක ප්‍රතිඵලයක් ලෙස දැනටමත් පරිලෝකිත (Scanned) පිටපත් රැසක් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇත.

මෙම අවස්ථාව සඳහා ICTBUK ආයතනය නියෝජනය කරමින් මධුරිකා ජයවර්ධන, අමිල පෙරේරා, නිමාලි ගුණවර්ධන සහ සනත් ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ද, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ SOAS පුස්තකාලය නියෝජනය කරමින් ඇලෙක්ස් කීතර්, ෆ්‍රැන් චෙස්කා මාචෙට්ටි සහ ආගුලා රුබ්ලැක් යන නිලධාරී මඩුල්ල ද සහභාගී වූහ.

මෙම ව්‍යාපෘතිය හරහා අපේ දේශීය ඥාන පද්ධතිය සදහටම සුරක්ෂිත වනවා පමණක් නොව, ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සහ අතීත හෙළ ශිෂ්ටාචාරයේ විශිෂ්ටත්වය ජාත්‍යන්තරය වෙත රැගෙන යාමට ද මින් මංපෙත් විවර වනු ඇතැයි සංවිධායකයෝ විශ්වාසය පළ කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *