May 21, 2026
ගෝඨා ජනපති වී සතියකින් ඇප ලබා දෙන බවට පිල්ලෙයාන්ට පොරොන්දු වෙලා
අතිරේක සො. ජනරාල් දිලීප පීරිස් උසාවියට දැනුම් දෙයි
සහරාන් හෂිම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මඩකළපුව බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හමුවූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා ඊයේ (20දා) කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතාට දැනුම් දුන්නේය.
ඔවුන් තිදෙනා බන්ධනාගාරයට පැමිණ තමන් හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ පසු සතියක් ඇතුළත තමාට ඇප ලබාදීමට පොරොන්දු වූ බවද පිල්ලෙයාන් විසින් තමන්ට ප්‍රකාශ කළ බවද පිල්ලෙයාන්ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ අසාද් මවුලානා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ව ඇතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විවෘත අධිකරණය හමුවේදී පැවසීය.
විමර්ශන නිලධාරීන් විසින් අසාද් මවුලානා නමැත්තාගෙන් ප්‍රංශ තානාපති කාර්යාලයේදී සටහන් කොට තිබූ පිටු 11කින් යුත් ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ වහාම මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස පොරොන්දු වූ පරිදි පිල්ලෙයාන් ඇප මත මුදාහැරීමට පියවර ගෙන ඇතැයි ද අධිකරණයට පෙන්වා දුන්නේය.
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි තුවාන් සුරේෂ් සලෙයි මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව පවරා තිබූ නඩුව ඊයේ (20දා) කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේදී කැඳවිණි. එවකට බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ සුරේෂ් සලෙයි මහතා යටතේ විවිධ මිනිස් ඝාතන හා අපරාධ සිදුකිරීමට වෙනම නිලධාරීන් කණ්ඩායමක් සිටි බවට මෙන්ම ඔවුන් විසින් එවකට දැඩි කතාබහට ලක්වූ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක් සිදු කළ බවටත් පෙර කී ප්‍රකාශය අනුව අනාවරණය වන්නේ යැයි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේය. විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කොට සිටි සහරාන් හෂිම්ගේ සගයන් රැසකටම ඇප ලබාදීමට කටයුතු කර ඇතතේ සුරේෂ් සලෙයි බවත් ඒ සඳහා ඔහු වැයකර ඇත්තේ රජයේ මුදල් බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ වනවිට අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලෙයි මහෙස්ත්‍රාත්වරයා හමුවේ පාපෝච්චාරණයක් කිරීමට අවසර ඉල්ලා ඇතතේ ඒ සත්‍ය වසන් කොට අසත්‍ය ප්‍රකාශයක් කිරීමට වන බැවින් එයට අවසර ලබානොදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සුරේෂ් සලෙයි නමැති සැකකරුට තමා හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමට අවසර ලබාදෙන්නේ ද නැති ද යන නියෝගය ලබන ජූලි 1 වැනිදා නිකුත් කිරීමට තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා එදින දක්වා නඩුව කල් තැබීමට නියම කළේය.




