දේශීය පුවත් | 2026 මාර්තු 20
කොළඹ වරාය නගරය සඳහා මේ වන විට නව ආයෝජන ව්‍යාපාර 150කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.
ඊයේ (19) පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නියෝග අනුමත කිරීමෙන් පසුව ආයෝජන ආකර්ෂණය වර්ධනය වී ඇති බවයි.
ඔහු සඳහන් කළේ, පසුගිය කාලය තුළ ආයෝජන කැඳවා ගැනීම සීමිත වූ අතර, දූෂණ සහ පාලන ගැටලු හේතුවෙන් ඒවා අඩාල වී තිබූ බවයි. එහෙත් වර්තමාන රජයේ දේශපාලන ස්ථාවරභාවය සහ ක්‍රමවත් කළමනාකරණය හේතුවෙන් විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය වැඩිවී ඇති බවත් පැවසීය.
මෙම නව ලියාපදිංචි ආයෝජන මගින් වර්ග මීටර් මිලියන 6.3ක් පුරා විදේශ ආයෝජන ගෙන ඒමට අපේක්ෂා කරයි. ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා සති 6ක් ඇතුළත අනුමැතිය ලබාදීමට පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම, පෙර අවස්ථාවලදී ආයෝජකයන්ට ආයතන 26කින් වෙන වෙනම අනුමැතිය ලබාගැනීමට සිදු වූවත්, ඉදිරියේදී ඒවා “එකම වහලක් යටින්” ලබාදීමට සැලසුම් කර ඇත.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, වත්මන් ආර්ථික හා දේශපාලන ස්ථාවරභාවය හේතුවෙන් ආයෝජකයන් කැමැත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් ඇති අතර, කර්මාන්තශාලා 1300කට ඉන්ධන පහසුකම් සපයමින් නිෂ්පාදන ක්ෂේත්‍රය ද අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.
මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනයකට ආරම්භයක් වන බවද ඔහු අවධාරණය කළේය.





