ඉරානයේ ශ්‍රේෂ්ඨ ආගමික නායකයා (Supreme Leader) ලෙස මොජ්තබා කමේනෙයි පත් කර තිබෙන බව ඉරානයේ විශේෂඥ සභාව (Assembly of Experts) අද (සඳුදා) නිවේදනය කළා.
ඔහු පත්වන්නේ තම පියා වූ අයතොල්ලා අලි කමේනෙයිගේ අනුප්‍රාප්තිකයා ලෙසයි. අලි කමේනෙයි පසුගිය පෙබරවාරි 28 වැනිදා ටෙහෙරානයට එල්ල වූ ඇමරිකා–ඉස්රායල් ප්‍රහාර මාලාවේදී මියගොස් තිබුණි. ඔහු 1989 සිට ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කළේය.
විශේෂඥ සභාව සඳහන් කළේ “විස්තරාත්මක සහ දිගු සාකච්ඡා” පසු මොජ්තබා කමේනෙයි නව නායකයා ලෙස තෝරාගත් බවයි. නව නායකයාට සහය දක්වමින් ඉරාන ජනතාවට සහ විශ්වවිද්‍යාල හා ආගමික අධ්‍යාපන ආයතනවල බුද්ධිජීවීන්ට ඔහුට විශ්වාසය ප්‍රකාශ කරන ලෙසද ඔවුන් ආරාධනා කර ඇත.
1969 වසරේ උපන් මොජ්තබා කමේනෙයි, අලි කමේනෙයිගේ දරුවන් හය දෙනාගෙන් දෙවැනියායි. 1980 දශකයේ සිදුවූ ඉරාන–ඉරාක් යුද්ධය අතරතුර ඔහු ස්වේච්ඡා සටන්කාමියෙකු ලෙසද සේවය කළේය. පසුව ඔහු ඉරානයේ ශියා ආගමික අධ්‍යාපනයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන කොම් නගරයේ ආගමික අධ්‍යයනය සිදු කර ඇත.
මෑත ප්‍රහාරයේදී ඔහුගේ සහෝදරිය සහ පවුලේ තවත් කිහිප දෙනෙකු මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාරයේදී මොජ්තබා කමේනෙයිද තුවාල ලැබූ බව ඉස්රායල මාධ්‍ය සඳහන් කරයි.
එමෙන්ම ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ද නව උත්තරීතර නායකයාට තම සහය පළ කර ඇති බව වාර්තා වේ.
ඉරානයේ ජාතික ආරක්ෂක සභාවේ ලේකම් අලි ලරිජානි සඳහන් කළේ, විරෝධී බලවේග “දේශපාලන අර්බුදයක් ඇතිවෙයි” යන බලාපොරොත්තුව තබා සිටියද, අලි කමේනෙයිගේ මරණයෙන් පසුව නව නායකයා තෝරා ගැනීම වේගයෙන් සහ ක්‍රමවත් ලෙස සිදු වූ බවයි.





