March 6, 2026
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කළ විශේෂ මානුෂීය මෙහෙයුමකින් ඉරාන නෞකාවක සිටි නාවිකයන් 208 දෙනා සාර්ථකව මුදාගෙන ගොඩබිමට රැගෙන ඒමට කටයුතු ආරම්භ කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර සම්මුති හා නීති රීති අනුව ක්‍රියා කරමින් මෙම තීරණය ගත් බවයි.
එම නෞකාව යුද ගැටුමක එක් පාර්ශ්වයකට අයත් යාත්‍රාවක් වන බැවින් එය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී එක්සත් ජාතීන්ගේ සාගර නීති සම්මුතිය සහ 1907 හේග් සම්මුතිය ඇතුළු ජාත්‍යන්තර නීති ප්‍රතිපාදන සැලකිල්ලට ගනිමින් තීරණ ගැනීමට සිදු වූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව නෞකාවේ කපිතාන්වරයා, ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සහ අදාළ තානාපති කාර්යාල අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව එහි සිටි පිරිස මුදාගෙන ගොඩබිමට රැගෙන ඒමට එකඟතාවයකට පැමිණ තිබේ.
දැනට ලැබී ඇති තොරතුරු අනුව එම නෞකාවේ සිටි පුද්ගලයන් 208 දෙනා අතර නිලධාරීන් 53 දෙනෙක්, කැඩෙට් නිලධාරීන් 84 දෙනෙක්, ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48 දෙනෙක් සහ නාවිකයන් 23 දෙනෙක් සිටින බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රා එම නෞකාව වෙත ළඟා වී එහි සිටි පිරිස කොළඹ වරායට රැගෙන ඒම සඳහා කටයුතු ආරම්භ කර ඇති අතර, අනතුරුව නෞකාව කොළඹ වරායට නොගෙන ත්‍රිකුණාමලය වරායට රැගෙන යාමට සැලසුම් කර තිබේ.
කොළඹ වරාය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ වරාය වන බැවින් එවැනි නෞකාවක් එහි රඳවා තැබීම වාණිජ කටයුතු වලට බලපෑමක් ඇති කළ හැකි බව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවද සඳහන් වේ.
ශ්‍රී ලංකාව ස්වෛරී හා ස්වාධීන රාජ්‍යයක් ලෙස කිසිදු රටකට පක්ෂපාතී නොව ජාත්‍යන්තර නීති හා තම ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් තීන්දු ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.





