Home / Editors choice / කතුවැකිය / මැදපෙරදිග අර්බුදය: ඉදිරි මඟ

මැදපෙරදිග අර්බුදය: ඉදිරි මඟ

ඇමෙරිකාව හා ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද ක්‍රියාමාර්ග ආරම්භ කිරීමත් සමඟ මැදපෙරදිග කලාපයේ අර්බුදය වඩාත් තීව්‍ර වෙමින් ලෝක දේශපාලනය නව අවධියකට පිවිස ඇති බව පෙනේ. ගාසා තීරය හා ඊශ්‍රායලය අතර පැවති ගැටුමක් ලෙස ආරම්භ වූ මෙම තත්වය දැන් කලාපීය යුදමය තත්ත්වයක් බවට පත්වෙමින් ලෝක බලවත් රටවල් ද ප්‍රධාන පිල් දෙකකට බෙදෙන ස්වභාවයක් ගෙන ඇත.

මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට සෘජුවම බලපාන අතර විශේෂයෙන් බලශක්ති වෙළෙඳපොළට දැඩි බලපෑමක් ඇති කරනු ඇත. ලෝක තෙල් සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ඇතිවන අනතුරු හේතුවෙන් බොරතෙල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක් දැනටමත් පෙනෙන්නට තිබේ. එමඟින් ලෝක උද්ධමනය, ප්‍රවාහන වියදම් සහ මූල්‍ය වෙළෙඳපොළවල අස්ථාවරතාව වැඩි විය හැකිය.

මෙම අර්බුදය ශ්‍රී ලංකාවට ද බලපෑම් ඇති කළ හැකිය. විශේෂයෙන් ඉන්ධන හා ගෑස් ආනයනය, මැදපෙරදිග රටවල සේවය කරන ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා, විදේශ පේෂණ සහ අපනයන වෙළෙඳපොළ වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.

එබැවින් ශ්‍රී ලංකාව වැනි රටක් සඳහා වඩාත් වැදගත් වන්නේ නොබැදි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මෙම අර්බුදය හමුවේ ආර්ථික හා බලශක්ති ආරක්ෂාව සුරක්ෂිත කර ගැනීමයි. විකල්ප බලශක්ති සැපයුම්, වෙළෙඳපොළ විවිධීකරණය සහ උපක්‍රමශීලී ආර්ථික සැලසුම් ඔස්සේ මෙම අභියෝගය අවස්ථාවක් බවට පත් කර ගැනීම ඉදිරි කාලයේ වැදගත් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *