Home / Local News / රවී කරුණායක සහ අර්ජුන් ඇලෝසියස්ට එරෙහි අල්ලස් නඩුවේ සාක්ෂි විභාගය ඇරඹෙයි

රවී කරුණායක සහ අර්ජුන් ඇලෝසියස්ට එරෙහි අල්ලස් නඩුවේ සාක්ෂි විභාගය ඇරඹෙයි

හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක සහ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද (04) කොළඹ මහාධිකරණය හමුවේදී ආරම්භ විය.

මෙම නඩුව මොහොමඩ් මිහාල් විනිසුරුතුමා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ සාක්ෂිකාර අනිකා විජේසූරිය නමැත්තියගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරිණි.

අල්ලස් කොමිසම පවසන්නේ 2016 වසරේ පෙබරවාරි 12 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ රවී කරුණායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මොනාර්ක් නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක පදිංචිව සිටීම මෙම නඩුවට හේතු වූ බවයි.

එම නිවස දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ බවත්, එවැනි නිවසක පදිංචිව සිටීම තුළින් අල්ලස් පනතේ 19(ඇ) වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවත් කොමිසම චෝදනා කරයි.

එමෙන්ම මෙම ක්‍රියාව සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව ද අධි චෝදනා ඉදිරිපත් කර තිබේ.

අදාළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන මාර්තු 09 දිනට කල් තැබීමට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *