Home / Local News / විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පොලිස් නිලධාරීන් 604කගේ වැඩ තහනම් – 79ක් සේවයෙන් ඉවත් කරයි

විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පොලිස් නිලධාරීන් 604කගේ වැඩ තහනම් – 79ක් සේවයෙන් ඉවත් කරයි

විවිධ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් 2024 සිට 2025 දක්වා කාලය තුළ පොලිස් නිලධාරීන් 604 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර, 79 දෙනෙකු සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) ප්‍රකාශ කළේය.

පොලිස් නිලධාරීන්ගේ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ මහජනතාවට පැමිණිලි කිරීමට 118 හා 197 දුරකථන අංක මෙන්ම වෙබ් අඩවි සහ විශේෂ විමර්ශන ඒකක 11ක් ස්ථාපිත කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා විසින් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පොලිස් සේවයේ විනය පවත්වාගෙන යාම සහ දූෂණ මර්දනය සඳහා විවිධ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි. පොලිස් නිලධාරීන් සම්බන්ධ අක්‍රමිකතා පිළිබඳව පොලිස්පතිවරයාට හෝ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට සෘජුව දැනුම් දීමේ හැකියාවද මහජනතාවට ලබාදී ඇති බව ඔහු සඳහන් කළේය.

දැනට දිවයින පුරා පොලිස් ස්ථාන 608ක් ක්‍රියාත්මක වන අතර, මුළු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 79,782ක් බවද අමාත්‍යවරයා පැවසීය. එයින් සාමාන්‍ය සේවයේ නිලධාරීන් 71,424ක්, විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් 7,256ක් සහ අනෙකුත් සහායක සේවයේ නිලධාරීන්ද ඇතුළත් බව සඳහන් කළේය.

පොලිස් සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා නව බඳවා ගැනීම් ක්‍රියාත්මක කරමින් සිටින අතර, මේ වන විට නිලධාරීන් 17,000ක් පමණ බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා අනාවරණය කළේය. ඒ අතර උප පොලිස් පරීක්ෂකවරු 325ක් සහ කොස්තාපල්වරු 6,530ක් බඳවා ගැනීමට නියමිතය.

එමෙන්ම පිරිස් බලය ශක්තිමත් කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට තීරණය කර ඇති අතර, ඔවුන්ට නවාතැන් සහ ආහාර දීමනා ලෙස රුපියල් 25,200ක අමතර දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබී ඇත.

අපරාධ මර්දන මෙහෙයුම් යටතේ 2024 වසරේදී වෙඩි තැබීම්වලට සම්බන්ධ වෙඩික්කරුවන් 22ක්, පැදිකරුවන් 14ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 57ක් ඇතුළු සැකකරුවන් 315 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, 2025 වසරේදී සැකකරුවන් 408 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

තවද ස්ථානමාරු ලබන පොලිස් නිලධාරීන්ට නේවාසික පහසුකම් ලබාදීම සඳහා රුපියල් මිලියන 4,100ක වියදමින් නිවාස 352කින් සමන්විත නිවාස සංකීර්ණයක් මිලදී ගැනීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *