පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට දේශපාලන අර්ථකථන හෝ බාධා නොකර නීතියට ඉඩ ලබා දිය යුතු බව අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
අගරදගුරු මැදුරේ පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (26) අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවිධ අර්ථකථන ඉදිරිපත් කරමින් සමාජය තුළ වැරදි ආකල්ප ගොඩනැගීමට කරන උත්සාහයන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවයි.
ඔහු පෙන්වා දුන්නේ, ආරක්ෂක අංශ නිලධාරියෙකු හෝ රණවිරුවෙකු ලෙස හැඳින්වීම මත නීතියෙන් වෙන් කර බැලිය යුතු පුද්ගලයෙකු ලෙස කෙනෙකු ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම වැරදි බවයි. නීතිය සියලු දෙනාටම එකසේ හා සාධාරණව ක්‍රියාත්මක විය යුතු බවත් “කවුරුත් නීතියට ඉහළින් නැහැ” යන මූලධර්මය නීතියේ ආධිපත්‍යයේ පදනම බවත් ඔහු කියා සිටියේය.
දැනට අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරු ලෙස පමණක් වන අතර ඔහු වැරදිකරුවෙකුද නැද්ද යන්න තීරණය කරන්නේ අධිකරණය විසින් බව සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කළේය. ඒ අනුව මේ අවස්ථාවේ අවසන් තීන්දුවක් ලබා දෙන ප්‍රකාශ කිරීම හෝ සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සුදුසු නොවන බවද ඔහු පැවසීය.
මෙම විමර්ශන දේශපාලනීකරණය කිරීම අවශ්‍ය නොවන බවත්, ඒවා සිදු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ක්‍රියාත්මක කරන ස්වාධීන විමර්ශනයක් ලෙස බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම, විමර්ශන කඩාකප්පල් කිරීමට කරන උත්සාහයන් පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ ආබාධිත වූ වින්දිතයන්ට සිදු කරන අසාධාරණයක් ලෙස තමන් දකින බවද ඔහු පැවසීය. රටක් ලෙස කළ යුත්තේ විමර්ශනවල ප්‍රතිඵල පිළිබඳ ඉවසීමෙන් බලා සිටීම හා නීතියට ඉඩ දීම බවද ඔහු සඳහන් කළේය.
පසුගිය වසර කිහිපය පුරා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවූ බවද ඔහු පෙන්වා දුන් අතර, 2024 නොවැම්බර් මාසයෙන් පසු විමර්ශන ක්‍රමවත් ලෙස නැවත ආරම්භ වී මාස 16කට ආසන්න කාලයක් ස්වාධීනව සිදුවෙමින් පවතින බවද පැවසීය.
මෙය සාමාන්‍ය අපරාධයක් නොව, රටම කම්පනයට පත් කළ මහා ඛේදවාචකයක් බව සඳහන් කළ ඔහු, එම සිදුවීම පිටුපස ඇති සැලසුම් හා සම්බන්ධ පාර්ශ්ව සම්බන්ධයෙන් සූක්ෂ්ම විමර්ශනයක් සිදු කළ යුතු බවද අවධාරණය කළේය.
තවද, මෙම සිදුවීම දේශපාලන හෝ වෙනත් පරමාර්ථ සඳහා භාවිත කිරීමට උත්සාහ කිරීමෙන් වළකිමින් විමර්ශන ස්වාධීනව ඉදිරියට යාමට ඉඩ දීම සියලු දෙනාගේ වගකීම බවද ඔහු පැවසීය.
මාධ්‍ය ආයතනවලින්ද මෙම කරුණ දේශපාලන කෝණයකින් වාර්තා නොකරන ලෙස ඉල්ලා සිටි සිරිල් ගාමිණී පියතුමා, යුක්තිය ප්‍රමාද වුවද අවසානයේ එය ඉෂ්ට වනු ඇතැයි විශ්වාසය පළ කළේය.





