Home / Local News / බාල ගල් අඟුරු චෝදනා පිළිබඳව CID වෙත පැමිණිල්ලක්

බාල ගල් අඟුරු චෝදනා පිළිබඳව CID වෙත පැමිණිල්ලක්

බාල ගල් අඟුරු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා විපක්ෂය විසින් මෙහෙයවනු ලබන සැලසුම් සහගත රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බව පවසමින් සිවිල් බුද්ධි පෙරමුණ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සිවිල් බුද්ධි පෙරමුණේ සංවිධායක සංජය මහවත්ත මහතා සඳහන් කළේ, අජිත් පී. පෙරේරා, එස්.එම්. මරික්කාර් සහ විදුර රලපනාව යන පුද්ගලයන් ව්‍යාජ වාර්තා භාවිත කරමින් රට තුළ අනවශ්‍ය කලබලයක් ඇති කිරීමට උත්සාහ කරන බවයි.

ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂය විසින් සමාජගත කර ඇති වාර්තාවල තාක්ෂණික ගැටලු සහ දැවැන්ත දෝෂ පවතින බවය. විශේෂයෙන් එක් වාර්තාවක වර්ෂය ලෙස 2017 සඳහන්ව තිබීම වාර්තා සංස්කරණයේදී සිදු වූ වැරැද්දක් බවත්, ඇතැම් වාර්තා 2025 සහ 2026 වැනි අනාගත වර්ෂයන් යොදා සකස් කර ඇති බවටද ඔහු චෝදනා කළේය.

“ලංකාවේ මෙවැනි ASTM වාර්තා සකස් කිරීමට අවශ්‍ය උපකරණ පවා නොමැති අතර, මේවා පැහැදිලිවම ව්‍යාජ ලෙස සකස් කළ වාර්තා,” යැයි සඳහන් කළ මහවත්ත මහතා, 2007 වසරේ සිට ලක්විජය බලාගාරය සම්බන්ධ ඉතිහාසය තුළ මෙවැනි වාර්තා හයක් කිසිදු අවස්ථාවක ඉදිරිපත් වී නොමැති බවද අවධාරණය කළේය.

මෙම චෝදනා පිටුපස ඇති සැබෑ අරමුණ ලක්විජය බලාගාරය හරහා මීට පෙර ලබාගත් කොමිස් මුදල් වර්තමානයේ අහිමි වීම විය හැකි බවටද මහවත්ත මහතා සැක පළ කරයි. ඔහුගේ අදහස අනුව, කොමිස් මුදල් අහිමි වීමෙන් අගතියට පත් පිරිස් ව්‍යාජ වාර්තා මඟින් රජය අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කරන බව සඳහන් වේ.

අදාළ වාර්තා හය ලබාගත් ආකාරය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්, මේ පිටුපස සිටින පිරිස් හෙළි කරන ලෙසත් සිවිල් බුද්ධි පෙරමුණ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *